Monday, April 29, 2024

General line - 0115112241

අල්කයිඩා ක්‍රියාවලට සම්බන්ධ නිවාස දෙකක් දෙහිවල සහ බේරුවල




පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස දෙක අල් කයිඩා සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ, නීතිපතිවරයා විසින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමත් සමඟයි.

ඒ අනුව, අදාල නිවාස  පවරා ගැනීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා එම නිවාස වල හිමිකරුවන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමට ද එහිදී තින්දු කළා.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව අනාවරණය වූ තොරතුරු මත මෙම නඩුවට පාදකවන ප්‍රශ්නගත නිවාස දෙක සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදුකළ බව සඳහන් කර තිබෙනවා.

ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ලුක්මාන් තාලිෆ් නමැත්තෙකු  මෙම නිවාසවල හිමිකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා එහිදී පවසා ඇත්තේ.

අදාල නිවස ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ හා අල් කයිඩා සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් එහිදී ප්‍රකාශ කළා.