Saturday, April 27, 2024

General line - 0115112241

පාතාල හඬ පටයෙන් එළියට ආ අගලවත්ත OIC ගැන පොලිස් විමර්ශන




පාතාල සාමාජිකයින් සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ටී ආර් හෙට්ටිආරච්චි සම්බන්ධයෙන් පොලිස් කොමිසම අද විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ඔහු විසින් සිදු කළ බව කියන දුරකතන සංවාදයක හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගයි. නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේද ඇතුළත් මෙම හඬපටය සම්බන්ධයෙන් ජනතාව අතරද දැඩි කතාබහක් මතු වුණා.

පාතාල සාමාජිකයෙකු බව පැවසෙන ඇල්ටෝ ධර්මේ නමැත්තා සහ අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ටී ආර් හෙට්ටිආරච්චි අතර පැවති දුරකතන සංවාදය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ද අවධානය යොමුවන්නේ ඒ අනුවයි.

අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ටී ආර් හෙට්ටිආරච්චි ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම දුරකතන සංවාදය පවත්වා ඇති බවයි නෙත් නිවුස් අනාවරණ කළේ.

ඒ අනුව අදාළ හඬපටය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දුන්නා.

එමෙන්ම අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ටී ආර් හෙට්ටිආරච්චි විසින් භාවිත කරන ලද ලැප්ටොප් පරිගණකයක් සහ දුරකතනය ද මේ වන විටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.