Monday, April 29, 2024

General line - 0115112241

මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා වෙනුවෙන් දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්




අදට යෙදී තිබෙන මහ සිකුරාදා සහ එලඹෙන පාස්කු ඉරිදා වෙනුවෙන් සියලු කිතුනු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒ සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම කිතුනු දේවස්ථාන සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පොලිසිය පවසනවා. 

දිවයින පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුනු දේවස්ථාන 2,978කින් දේවස්ථාන 2,239ක එම දේව මෙහෙයන් පවත්වන බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව, එම දේවස්ථාන ඇතුළු දේවස්ථාන 2,253ක පියතුමන්ලා සහ ඒවා අයත් පොලිස් බල ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් සාකච්ඡා කර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, අද සිට 31වන දා දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

ඒ සඳහා පොලිස් නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් යොදවා ඇති බවත්, ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේද සහය ලබාගන්නා බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.