Saturday, May 4, 2024

General line - 0115112241

කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට වන්දි ගෙවීමට සූදානම් වන්නැයි ඉරානයෙන් ඊශ්‍රායලයට රතු එළි




සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

සිරියාවේ ඉරාන තානාපතිවරයා පවසන්නේ වේලාව අනුව ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි. ඊශ්‍රායලයේ එම බියගුලු ක්‍රියාවට සුදුසු ක්‍රියාමාර්ගයක් ඔස්සේ ප්‍රතිචාර දක්වන බවද ඔහු පවසා තිබෙනවා.

මේ අතර ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානයද අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවූවා. හිස්බුල්ලා සංවිධානය පවසන්නේ සිරියාවට එල්ල කළ ප්‍රහාරය සඳහා ඊශ්‍රායලය වන්දි ගෙවිය යුතු බව සහ ඒ සඳහා සූදානමින් සිටිය යුතු බවයි.

සතුරාට නිසැකවම දඬුවම් පැමිණවිය යුතු බවයි හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ. 

සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලය ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ ඉරාන විප්ලවීය හමුදාවේ සාමාජිකයින් 07 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ අතර ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුද වනවා.

එම ගුවන් ප්‍රහාර හමුවේ ඉරාන කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.