Wednesday, May 1, 2024

General line - 0115112241

ඕමාන බොක්කේ ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයින් 21ක් බේරා ගැනේ




ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කරමින් සිටි මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේ ඕමාන බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේයි.

පැවති කුණාටු තත්ත්වය හේතුවෙන් මෙම නෞකාව අනතුරට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ඉරාන ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබුණා.

එම ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනාගේ තත්ත්වය බරපතල නොවුනද ඒ අතර සිටි පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වන විට එක්සත් අරාබි එමීර්, ඕමානය ඇතුළු රටවල් ආශ්‍රිත කලාපයට අධික වර්ෂාපතනයක් ඇද හැළෙමින් තිබෙනවා.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය මැදපෙරදිග කලාපයට බලපෑම් එල්ල කරමින් සිටින්නේ ඉකුත් සඳුදා සිටයි.

ඕමානයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පමණක් පුද්ගලයින් 18 දෙනෙකුට දැනටමත් දිවි අහිමි වී තිබෙනවා. 

ඩුබායි ඇතුළු වැදගත් නගර රැසකට දැඩි බලපෑම් එල්ල කර ඇති අරාබිකරයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ තවත් තොරතුරු විදෙස් ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.