Wednesday, May 1, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ SI  සහ සාජන් CID අත්අඩංගුවට 




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ලද මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද උප පොලිස් පරීක්ෂකයෙකු සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවතගම පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රදවා තබා සිටි සැකකරුවෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම නිළධාරීන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසු පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක අමිල ලසන්ත කුමාර පතිරණ (අවු.56) යන අය කුරුණැගල අවට ප්‍රදේශ වලට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරන ලබන දැනට අනාවරණය වී ඇති ඩුබායි සම්පත් නැමැත්තෙකු සමග වට්ස්ඇප් ඔස්සේ දුරකථන සබදතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙන්නේ.

එසේම, පොලිස් සැරයන් 75048 සුනෙත් දුෂ්මන්ත දිසානායක (අවු. 38) ඕමන්තය පොලිස් ස්ථානයට අනුයුක්තව තාවකාලිකව දොරුටියාව පොලිස් ස්ථානයේ රාජකාරි කරන ලද නිළධාරියෙකු වන අතර, මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු සමග සමීප සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට අනාවරණය වී ඇත. 

මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.