Wednesday, June 26, 2024

General line - 0115112241

පොලිස් නිලධාරින්ගේ රථ වාහන ත්‍යාග මුදල ඉහළට




පොලිස් රථ වාහන අංශවලට අනියුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරින්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩිකර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් දෛනික රාජකාරියේ නියැලෙන බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව, පොලිස් රථවාහන අංශවලට අනියුක්තව රාජකාරි කරන නිලධාරින්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් මාසිකව ගෙවීමටයි තීරණය කර ඇත්තේ.

රථ වාහන රාජකාරියේ නිරත රථ වාහන ස්ථානාධිපතිවරයෙකුට ගෙවන ලද ත්‍යාග මුදල රුපියල් 2,500 සිට රුපියල් 7,000 දක්වා වැඩිකර තිබෙනවා.

එමෙන්ම පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරින්ට ගෙවන ලද ත්‍යාග මුදල රුපියල් 2,000 සිට රුපියල් 7,000 දක්වා වැඩිකර ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රථ වාහන පොලිස් සැරයන්වරයෙකුට ගෙවන ලද ත්‍යාග මුදල ද රුපියල් 1,800 සිට රුපියල් 6,000 දක්වා වැඩිකර තිබෙන අතර පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයෙකුගේ ත්‍යාග මුදල ද රුපියල් 1,600 සිට රුපියල් 6,000 දක්වා වැඩිකර තිබෙනවා. පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකුගේ ත්‍යාග මුදල ද රුපියල් 1,200 සිට රුපියල් 4,000 දක්වා වැඩිකළ බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.