Friday, June 28, 2024

General line - 0115112241

ගාල්ල, කලුවැල්ලට එක්සත් ජාතික පක්ෂ නව කලාප කාර්යාලයක් 




රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට ගෙනයන මාර්ගය වෙනස් නොකර එතුමාට තවත් වසර 12 ක් මේ රට එකදිගට පාලනය කරන්නට අවස්ථාව ලබාදුනහොත්, මේ රට නියත වශයෙන්ම ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන බව තමාට සියයට සියයක් විශ්වාස බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කළා.

මන්ත්‍රී වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ ඊයේ (23) සවස ගාල්ල කලුවැල්ලේ ආරම්භ කරන ලද නව එක්සත් ජාතික පක්ෂ කලාප කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ඒ මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.

"ගාල්ල කලුවැල්ල නව එක්සත් ජාතික පක්ෂ කාර්යාලය අද සවස විවෘත වුණා. මේ මාසය අවසන් වෙන්න පෙර ගාල්ල දිස්ත්‍රික්කය තුළ සියලු එජාප කළාප කාර්යාල පිහිටුවා අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුලු ලංකාව තුළමත් ඒ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. 

2020 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ එක් ආසනයක් පමණයි. ඒ ආසනය පාර්ලිමේන්තුවේ අවුරුද්දකට ආසන්න කාලයක් හිස්ව තිබුණා. මේ අතරවාරයේදී අපේ රට දරුණු ආර්ථික ආගාධයකට ඇද වැටුණා. රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වුණා. පෙට්ට්‍රල්, ඩීසල් බවුසරයක් දැක්කම අපේ රටේ ජනතාව අත්පුඩි ගහන සමාජයක් බිහිවුණා.

මේ අවස්ථාවේදී පක්ෂයක් ලෙස අප තීරණය කළා වැටුණු රට ගොඩගන්න අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව. මීට හරියටම වසර තුනකට පෙර අද වගේ දවසක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

එතුමා පාර්ලිමේන්තුවට ගිය දා පටන් සත්‍ය ප්‍රකාශ කළා. ඇතැම් අය මේ සත්‍ය පිළිගන්න කැමති වුණේ නැහැ. රට සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. එවකට හිටපු අගමැතිතුමන් සිය ධූරය අත් හැරියා. මේ අවස්ථාවේදී අපේ රටේ අසරණ වුණු ජනතාවගේ වගකීම් බාරගන්න කිසිම නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. 

නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොබියව ඉදිරියට ඇවිත් දෙකෝටි විසිලක්ෂයක් ජනතාවගේ වගකීම බාරගත්තා. එවකට රට ගමන් කළ වැරදි මාර්ගය වෙනස් කොට රට නැවත නිවැරදි මාර්ගයට ගත්තා.

අද රටේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. පෙට්ට්‍රල්, ඩීසල් පෝලිම් වෙනුවට අද තිබෙන්නේ දන්සැල් පෝලිම්. ජනතාව නිදහසේ වෙසක්, පොසොන් උත්සව සමරනවා. රට තිබුණු තැනින් ගොඩ ඇවිත්. නමුත් අපිට තව ඉදිරියට යාමට තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ඔසවා තබන්න කැප වී ක්‍රියා කරනවා.

එදා එක් ආසනයකට වැටුණු පක්ෂය අද බලවත් පක්ෂයක්. තනි ආසනයේ බලවත්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් ඔප්පුකර තිබෙනවා. එතුමා ගෙනයන වැඩපිළිවෙලට රටේ ජනතාව විදිහට සියලුදෙනාම සහයෝගය දැක්විය යුතුයි. රටේ සමස්ථ මහජනතාව අමාරු කාලයකින් දැන් ගොඩ ඇවිත් තිබෙනවා.

අපි දේශපාලන පක්ෂයක් හැටියට ඇත්ත කියලා පරාදවුණු දේශපාලන පක්ෂයක්. ඒ නිසාමයි 2020 මහ මැතිවරණය වෙලාවෙදී අපේ නායකතුමා අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේ අපි යන පාර වෙනස් කරන්න එපා, එහෙම උනොත් රට ලොකු අමාරුවක වැටෙයි කියලා. නමුත් මහජනයා මාවත් පරාද කරලා, අපේ නායකතුමාවත් පරාද කරලා අපේ පක්ෂයත් පරාදා කළා. 

ඒකට කමක් නෑ. නමුත් ඔබ දැන් නැවත සිතා බැලිය යුතුයි ඒ පරාජය කොයි තරම් රටට බලපෑවද කියලා. අපිට ලැබුණේ එක ආසනයයි. අපේ නායකතුමා කිවු දේ පිළිගත්තේ නැති මහජනයා ගෑස් ටැංකි තියාගෙන ගාල්ල ක්‍රීඩාංගනය වටේ හිටියා. ඒ විතරක් නෙමෙයි, ෂෙඩ් එකට තෙල් බවුසරයක් එනකන් දිවා රෑ නොබලා බලාගෙන හිටියා. ඉතින් අපි නෙමෙයි මේකට වැරදිකාරයෝ. අපිට ඇත්ත කියන්න පුලුවන්. නමුත් ඒ ඇත්ත පිළිගන්න එක අපේ රටේ ඡන්ද දායකයින්ගේ වැඩක්. 

තාමත් මට පේනවා අපේ රටේ ජනතාව රවට්ටන්න දේශපාලන පක්ෂ බොරු කියනවා. මෙතැනින් එහාට යන්න වෙනත් පාරක් නැහැ. යන්න තිබෙන එකම පාරේ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට අරගෙන යන්නේ. මින් ඉදිරියට කිසිඳු දේශපාලන පක්ෂයකට බොරු කියන්න බැරි විදිහට අලුත් ආර්ථික පරිවර්තන පනතක් නීතියෙන් නීතිගත කරගෙන තිබෙනවා. හැබැයි දේශපාලනඥයින් තවමත් හන්දිවලට ඇවිත් බොරු කියනවා. අපි ආවොත් වෙනස් කරනවලු. වෙනස් කරොත් නැවතත් රටේ මහජනතාවට පුලුවන් ගෑස් ටැංකිය තියන් පෝලිම්වලට වෙලා ඉන්න. 

ලෝකයේ රටවල් බංකොලොත් වුණු අවස්ථාවේදී ඒ රටවල් නැවත ගොඩගන්න අවුරුදු 8, 10 ගත වෙලා තිබෙනවා. දැන් ලබන මාසේ මැද වෙනකොට ඇමරිකාවේ අපේ රටේ ආණ්ඩුවට විරුද්දව නඩු කිහිපයක් අහන්නට තිබෙනවා ණය පැහැර හැරීම පිළිබඳව. අපි ගත්ත ණය ගෙව්වේ නැති වුණාම ලංකාවේ කිසිම කෙනෙක්ට ඒ රටවල් ඉදිරියට ගිහින් මුහුණදෙන්න බැහැ. ඒකට කියනවා අපි බංකොලොත් කියලා

දැන් ඒ බංකොලොත් රාජ්‍යයේ තමයි රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා අඩු ආදායම් ලාභීන්ට අස්වැසුම ලබාදෙන්නේ. ඒ බංකොලොත් රටේ තමයි උරුමය සින්නක්කර ඔප්පු ඉඩම් ලබාදෙන්නේ. ඒ බංකොලොත් රටේ තමයි රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා ජනාධිපති අරමුදලෙන් ඉගෙනගන්න දුවා දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න පටන් ගත්තේ. වෙනදා ජනාධිපති අරමුදල ශිෂ්‍යත්ව දුන්නේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඉන්නවා තෝරාගත් ළමයි 5000 ක්. ඉස්සරහට මේ ප්‍රමාණය ජනාධිපතිතුමා තවත් වැඩි කරයි. අපේ රට බංකොලොත් භාවයෙන් මුදා ගත්තම මේ දෙන දේවල් තවත් වැඩි කරයි. ඒ ගැන මට විශ්වාසයි. බංකොලොත් වුණ රටේ තමයි එකවුන්ට් එකට 15000 ක් දාන්නේ. මෙහෙම කරන්න හේතුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණු දැක්මත්, අත්දැකීමත්, පළපුරුද්දත් මහජනයාගේ යහපත වෙනුවෙන් යොදවන්න පුලුවන් වුණු එක. 

පොහොට්ටුව පොහොට්ටුවේ යුතුකම ඉෂ්ට කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයාලගේ යුතුකම ඉටු කළා. කොහොමහරි කමක් නෑ අපි මේ සියලුදෙනාවම එකතු කරගන්න ඕන. මොකද කාටවත් මෙතැනින් පැනලා යන්න බෑ. යන්න වෙන පාරකුත් නෑ. 
රටක් පාලනය කරන්න ඕන ඔලුවක් තිබෙන මිනිහෙක්. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟ හිඳිමින් එතුමා රැක ගත්තේ. සියලුදෙනාම කඩාගෙන වැටෙනකොටත් අපි හිටගත්තේ එතැන. අපි එහෙම හිටගත්තේ අපිට විශ්වාසයක් තිබුණා අනිවාර්යයෙන්ම එතුමා මේ රට ගොඩගන්නවා කියලා. ඒ නිසා තමයි මම කියන්නේ එතමාට බාධා නොකර මේ රට අවුරුදු 12 ක් එතුමාට පාලනය කරන්න ඉඩ දෙන්න කියලා. එතුමා අවුරුදු 12 ක් මේ රට අරගෙන යනවා කියන්නේ ලංකාව ආසියාවේ බලවත් රටක් පත්වෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. 

ඒ එතුමාගේ දේශපාලන පළපුරුද්ද අවුරුදු 50 කටත් වඩා වැඩි නිසයි. රට කඩා වැටුණු අවස්ථාවේදී මේ රට බාරගන්න අද කෑ ගහන කිසිම දේශපාලන නායකයෙක් ඉදිරියට ආවේ නැහැ. ඔවුන් සියලුදෙනාම තමන්ගේ පක්ෂවල බෝඩ් ලෑලි ගලවන් ගෙවල් ඇතුලු හැංගුණා. නමුත් ඒ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් ඉදිරියට ආවේ එකම එක නායකයෙක් පමණයි. ඒ තමය මේ මොහොතේ රට පාලනය කරන ජාතික නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා. 

ඔහු එදා ඉදිරියට පැමිණ මේ රට බාර නොගත්තා නම් අද ඔබට මට රටක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපේ සියලුලයදෙනාගෙම වාසනාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගෙන, ඔහුට කලින් මේ රට පාලනය කළ නායකයින්ගේ වැරදිත් බවා ඔවුන්ට කිසිඳු දෝශාරෝපණයක් නොකර නිවැරදි කරමින් සිටිනවා.

ඒ නිසා අපි ඉතාමත් අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙලට රටේ සමස්ථ මහජනතාව ලෙස අප සහයෝගය ලබාදිය යුතුයි. අපි සියලුදෙනාම එතුමාට සහයෝගය ලබාදුන්නොත් එතුමා නියත වශයෙන්ම මේ රට ආසියාවේත් ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී. ඒ ගැන මට සියයට සියයක් විශ්වාසයි. "