Sunday, September 29, 2024

General line - 0115112241

ත්‍රිකෝණ මඩු රක්ෂිත වනාන්තර කලාප හෙළි පෙහෙළි කිරීමට අදාළව නියෝගයක්

   උදය කුමාර




ත්‍රිකෝණ මඩු රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීති විරෝධී කැලෑ හෙළි පෙහෙළි කිරීම වැළැක්වීමට පියවර ගන්නා බවට මීට පෙර අධිකරණය හමුවේ ලබාදී තිබෙන ප්‍රතිඥාවට අනුව කටයුතු කරන ලෙස වනජීවී අමාත්‍යවරිය ඇතුළු නිලධාරීන්ට ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්  යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි.

ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තර කලාපවල සිදුවන නිති විරෝධී කැලෑ හෙළි කිරීම් වැළැක්වීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබුණා.

එහෙත් එම ප්‍රතිඥාව නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කියා සිටියේ.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ත්‍රිකෝණමඩු සංරක්ෂිත වනාන්තර කලාපය තුළ පවතින අක්කර 5000කට අධික භූමි ප්‍රමාණයක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් එළිපෙහෙළි කර ගොවිපලවල් තැනීම සඳහා ඉඩම් ලබාදීමේ සූදානමක් පවතින බවයි. 

මෙම ක්‍රියාව නීති විරෝධී බවට තීන්දු කොට එය වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.