Saturday, July 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිහිනුම් තරු යුවළකුත් ඔලිම්පික් උළෙලට




2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා පිහිනුම් ශූරයින් වන කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න ද සුදුසුකම් ලබා තිබෙනවා.

කයිල් සුදුසුකම් ලබා ඇත්තේ මීටර් 100 නිදහස් ආර පිරිමි ඉසව්වටයි.

කයිල් යනු 2016,2020 ඔලිම්පික් වරම් දිනූ පිහිනුම් ශූර මැතිව් අබේසිංහගේ සහෝදරයායි.

මීටර් 100 කාන්තා පසුපස ආර ඉසව්වෙන් ගංගා සෙනෙවිරත්න ඔලිම්පික් වරම් හිමි කරගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ඉසව් ජූලි 29 සහ 30 පැවැත්වීමට නියමිතයි.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙල ජූලි 26වනදා සිට අගෝස්තු 11 වනදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා.

මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ ද සමත් වී තිබෙනවා.

තරුෂි සුදුසුකම් ලබා ඇත්තේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන්.

කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ නදීෂා ඔලිම්පික් වරම් දිනාගෙන තිබෙනවා.

ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීම විශේෂත්වයක්. 

මේ අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමට තෝර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඇය නම් කර ඇත්තේ  සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙසයි. එලෙස හෝ ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට නම් කළ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ඇය වනවා.