Friday, October 18, 2024

General line - 0115112241

නවමු අත්දැකීමක් දෙමින් 2024 ඔලිම්පික් උළෙල පැරිසියේදී ඇරඹේ




2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී දර්ශනීය ලෙස ආරම්භ වුණා.

ඒ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන්.

ඔවුන් ‘සේන් නදිය’ යාත්‍රා කරමින් සමාරම්භක උළෙලට පැමිණියේ මින් පෙර නොවූ අයුරින්.

සමාරම්භය සඳහා කණ්ඩායම් 205ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,800ක් පැමිණිම සිදුවුණේ, බෝට්ටු 85කින්.

“පෘථිවියේ විශාලතම සංදර්ශනය” ලෙස සැලකෙන ඔලිම්පික් සමාරම්භය සඳහා ජල මාර්ගයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැමිණියේ ප්‍රථම වතාවටයි.

සමාරම්භක උළෙල පැය හතරකට ආසන්න කාලයක් පැවැත්වුණා.

ඒ සඳහා ප්‍රංශ සංගීතඥයන්, නර්තන ශිල්පීන් සහ අනෙකුත් කලාකරුවන් 2,000ක් පමණ සහභාගී වුණා. 

ඇද හැලුණ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැලසුම් කළ පරිදි ඔවුන්ගේ ඇඳුම්වලින් සැරසී පැමිණීමට නොහැකි වූ අතර වැහි කබා හා කුඩ ඔවුන්ගේ ඇඳුමට එක්කර ගැනීමට සිදුව තිබුණා. 

එක්සත් ජනපද ගායිකා ලේඩි ගාගාගේ මෙන්ම කැනේඩියානු සුප්‍රකට ගායිකා සෙලීන් ඩියොන්ගේ පුනරාගමනයෙන් සමාරම්භයට ලැබුණේ අසීමිත විචිත්‍රත්වයක්.

මෙම සමාරම්භයට පෙර ප්‍රංශ දුම්රිය ස්ථාන ආශ්‍රිත ගිනි තැබීම් වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතාබහක් මතු වුණා.

33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල විවෘත කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැවසුවේ ඔවුන් දැන් “ලෝකය සාමයෙන් එක්සත් කරන ඉසව්වක කොටසක්” බවයි.

මේ අතර, සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උතුරු කොරියාව ලෙස වරදවා හඳුන්වාදීම කාගේත් දැඩි කතාබහට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් දැන් සමාව ද අයැද තිබෙනවා.

විචිත්‍රවත් සංදර්ශනය අවසන් වුණේ ප්‍රංශ ජූඩෝ ක්‍රීඩක ටෙඩි රයිනර් සහ කෙටි දුර ධාවන ක්‍රීඩිකා මාරි-ජෝස් පෙරෙක් විසින් උණුසුම් වායු බැලූනයක් පැරිසියේ අහසට නංවමින්.

අගෝස්තු 11 වැනිදා අවසන් වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 32ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500කට වැඩි පිරිසක් තරඟ වදිනු ඇති.