Saturday, November 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රනිල් ,සජිත්, අනුර සුබ පතයි




ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් එලෙස සුබ පැතුම් එක්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම හරහා චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබෙනවා.

සමගිය තුළින් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි බවයි විපක්ෂ නායකවරයා සිය සුබ පැතුමෙන් පෙන්වා දෙන්නේ.

මේ අතර ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක ද සිය ෆේස්බුක් ගිණුම හරහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබෙනවා. “ආසියානු ක්‍රිකට් කිරුළ එසවූ ශ්‍රී ලාංකික දිරිය දියණියනි, ඔබට අපේ සුබ පැතුම්” යනුවෙන් එහි සඳහන්ව තිබුණා.

ඉතිහාසයේ පළමු වතාවට ආසියානු කාන්තා කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමින්. 

කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 165ක් රැස්කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්මෘති මන්දනා පන්දු 44ක් තුළදී වේගවත් ලකුණු 60ක් රැස්කළා.  

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 02ක් බිඳ හෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් තුළදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ නායක චමරි අතපත්තු පන්දු 43ක් තුළදී හතරේ පහරවල් 09ක් සහ හයේ පහරවල් 02ක් සමඟින් වේගවත් ලකුණු 61ක් රැස්කළ අතර හසිතා සමරවික්‍රම පන්දු 51ක් තුළදී හතරේ පහරවල් 06ක් සහ හයේ පහරවල් 02ක් සමඟින් නොදැවී ලකුණු 69ක් රැස්කළා.

ඒ අනුව   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට ආසියානු කුසලානයක් දිනා ගැනීමට සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය 07 වතාවක් දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරග 06කට සුදුසුකම් ලබාගත් අතර අවස්ථා 05කදී ආසියානු කුසලාන අනු ශූරයන් ලෙස තරගාවලි අවසන් කර තිබෙනවා.