Saturday, November 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය ඉන්දියාවට

කමල් සුරවීර




තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.  

ඒ, දෙරට අතර පැවති දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 7 කින් ඉන්දිය කණ්ඩායම ජය ගැනීමත් සමගයි. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදි කඩුළු 9 ක් දැවී ලකුණු 161 ක් රැස් කළා.

එහිදී කුසල් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 53 ක්. පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි ප්‍රතිවාදී කඩුලු 3 ක් බිද හෙළුවා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය ජයගැනීම සදහා පන්දුවාර 8 ක් තුළ ලකුණු 78 ක් රැස් කිරීමට ඉන්දීය කණ්ඩායමට ඉලක්කයක් හිමිවුණා.

ඒ, අනුව පන්දුවාර හයයි පන්දු 3 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 81 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

යෂස්වි ජයිස්වාල් ලකුණු 30 යි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණ ගැනීමට සිදුවන බව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

ඊයේ පැවති තරගයෙන් අනතුරුව පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ අඩුපාඩු සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.