Friday, November 22, 2024

General line - 0115112241

ධනංජය සහ මිලාන් එංගලන්තයේදී ශ්‍රී ලංකා ගෞරවය බේරා ගනී




ලකුණු 06ට කඩුලු 03ක් බිඳ වැටී තිබූ එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා පිලේ ගෞරවය බේරා ගැනීමට නායක ධනංජයද සිල්වා සහ නවක ක්‍රීඩක මිලාන් රත්නායක සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 236ක් තරම් ගෞරවාන්විත තැනකට ඔසවා තබමින්. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ එංගලන්තයේ මැන්චෙස්ටර්හිදීයි.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජයද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

පන්දුවාර 07ක් තුළ ශ්‍රී ලංකා පිලේ කඩුලු 03ක් ලකුණු 06කට බිඳ වැටුණු අතර ලකුණු 113ක් වන විට තවත් කඩුලු 04ක් බිඳ වැටී තිබුණා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 166වන ක්‍රීඩකයා වූ මිලාන් රත්නායක හා ධනංජයද සිල්වා බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ 08 වන කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ගොඩනඟමින්. ධනංජය ලකුණු 74කට දැවී ගියා.

පසුව 09 වන කඩුල්ල වෙනුවෙන්ද මිලාන් රත්නායක විශ්ව ප්‍රනාන්දු හා එක්ව ලකුණු 50ක සබඳතාවක් ගොඩනැඟුවා.

ඉනිමේ 09වන පිතිකරු ලෙස පිටියට පිවිස සිය මංගල ටෙස්ට් තරඟයේදීම අර්ධ ශතකයක් රැස් කළ මිලාන් දැවී යන විට ලකුණු 72ක් රැස් කර තිබුණා.

එයට 06 පහර දෙකක් සහ 04පහර 06ක් ඇතුළත්. එය ඔහුගේ ක්‍රිකට් දිවියේ පිතිකරුවෙකු ලෙස රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. 

අයහපත් ආලෝකය හේතුවෙන් ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 22ක් රැස්කරගෙන සිටියා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 03යි 30ට ආරම්භ වීමට නියමිතයි.