Saturday, November 30, 2024

General line - 0115112241

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට රීට් ආඥාවක්




ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත්  එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා  වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් වුණා.

ආර්.එස්. ජමිල් ඇතුළු පිරිස විසින් 2020 වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස එවක මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එකලස් කරන ලද වාහන ලියාපදිංචි කරන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී  ඇති බවයි.

එවැනි වාහන ලියාපදිංචි කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මස 09 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගෙන තිබූ බව ඔවුන් පෙන්වා දෙනවා.

එවැනි නීතිමය පසුබිමක් තුළ තම වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබුණා. 

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙන්නේ එකලස් කරන ලද වාහන 2,250ක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පමණක් බවයි.            

ඒ යටතේ මෙම නඩුකරයට පාදක වන වාහන ලියාපදිංචි කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව නීතිපත්ිවරයා පෙන්වා දුන්නා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා  කියා සිටියේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අත්තනෝමතික සහ අනීතික ලෙස අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ නීතිමය අපේක්ෂාවන් උල්ලංඝනය වී ඇති බවයි.

එමෙන්ම අදාල වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.