Monday, September 16, 2024

General line - 0115112241

තරුණ ප්‍රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි  - ජනපති 




ජාතිය, ආගම හෝ කුලය පිළිබඳව නොව රටේ ආර්ථිකය පිළිබඳව පමණක් අවධානය යොමු වූ ජනාධිපතිවරණයක් රට තුළ දක්නට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවත්, එතුළින් රටක් ලෙස එක්සත් ව කටයුතු කරමින් සමාජ විෂමතා පිළිබඳ පවතින ගැටලු විසඳීමට අවස්ථාව හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ වෘත්තියවේදීන්ගේ සංසඳය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (02) පස්වරුවේ සංවිධානය කර තිබූ “Ask Me Anything” විශේෂ වැඩසටහනට එක්වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

වර්තමානය වන විට අප, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වීන එක්සිම් බැංකුව සහ නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17 සමඟ සහයෝගයෙන් ණය තිරසාරභාවය, ණය සහන මෙන්ම 2032 දක්වා ඉදිරියට යන මාවත පිළිබඳව එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා. 

දැන් ප්‍රශ්නය වන්නේ අප මේ මාර්ගයේ දිගටම ගමන් කරනවාද නැතිනම් මෙය වෙනස් කරනවාද යන්න පිළිබඳවයි. 

රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මෙහි පවතින නිර්ණායක වෙනස් කළ නොහැකියි. 

බදු සංශෝධනයන් සිදු කළ හැකි වුවද, සමස්ත නිර්ණායක සපුරාලිය යුතුයි. 

අනෙක් පක්ෂ යෝජනා කරන්නේ විකල්ප ආදායම් මාර්ග ලබා දීමකින් තෙරව බදු සහ තීරුබදු අඩු කිරීම, ආදායම් අඩු කිරීම සහ සුභසාධන ක්‍රියාමාර්ග මගින් රජයේ වියදම් වැඩි කිරීම පිළිබඳවයි. 

2019 වසරේදී බදු අඩුකිරීම් නිසා ආදායම අඩුවීම සහ අධික ලෙස සහන ලබාදීම පදනම් කරගෙන, 2022 වසර වන විට ආර්ථික දුෂ්කරතා ඇතිවුණා. එවැනි අතීතයේ සිදු කළ වැරදි නැවත කිරීමට අවශ්‍යද කියා විමසිය යුතුයි

ඒ නිසා අප දැන් තීරණයක් ගත යුතුයි. මම ප්‍රතිපත්තිමය තොරතුරු ගැන කතා කරන්න යන්නේ නැහැ. අපට ලබන වසර දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 3ක් හිමිවෙනවා.

ඒවගේම 2040-2042 දක්වා ණය ආපසු ගෙවීමේ අවකාශයක් සහිත ගිවිසුමක් ද තියෙනවා. අපි අතේ තියෙන දේ මෙයයි. අප එය නැතිකර ගැනීමට සූදානම්ද? 

අපේ රටට අවශ්‍ය වන්නේ පරිවර්තනයක් මිස තාර්කික නොවන වෙනසක් නොවෙයි. 

මේ අර්බුදය ජයගනිමින් අපට 2042 වනවිට ස්ථාවරත්වයක් ළඟාකරගත හැකියි. 

නමුත් අපි ඉක්මනින් අපනයන නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය නොවුනොත්, අපට දිගින් දිගටම ණය ගැනීමට සිදුවන නිසා 2035 - 2040 කාලය තුළ තවත් අර්බුදයක් ඇතිවිය හැකියි.

කෙසේ වෙතත්, තරගකාරී අපනයන ඉලක්ක කරගත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් බවට පරිවර්නය වීම තුළින් අපට අතිරික්තයක් සහිත ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කළ හැකියි. 

ඉඩම් වැනි සැලකිය යුතු වත්කම් අප සතුව තිබෙනවා. මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට ගෝලීය ජනගහනය බිලියන 2 කින් පමණ වැඩිවීමක් අපේක්ෂා කරනවා. 

මෙම වෙළඳපොළට අවශ්‍ය ආහාර සැපයීම සඳහා අපගේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය තුළ ද සංචාරකයින්ගේ පැමිණීම මිලියන 2.5 සිට මිලියන 5 දක්වා වැඩි කළ යුතුයි.  

එක් සංචාරකයෙකුගෙන් දැනට දිනකට ලැබෙන ආදායම ඩොලර් 150 සිට ඩොලර් 400ක් දක්වා වැඩි කරගත යුතුයි. 

ඒවගේම, ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සහ අර්ධ ස්වයංක්‍රීය නිෂ්පාදන හැසිරවීමට අපගේ ශ්‍රම බලකාය පුහුණු කළ යුතුයි. එමඟින් ආදායම් ප්‍රවාහය පවත්වා ගැනීමට සහ අපගේ සම්පත් භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අපට ඉඩ සැලසෙනවා.

ආර්ථික පරිවර්තනය එක් අංගයක් වන නමුත් සමාජ පරිවර්තනය ද ඒ හා සමානව තීරණාත්මක වෙනවා. 

අපගේ බහු-මාන දරිද්‍රතාවය ජනගහනයෙන් 25%කට බලපා තිබෙනවා. 

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුබසාධන යන ක්ෂේත්‍රවල පවතින ගැටලු නිරාකරණය කරමින් මෙය 10% දක්වා අඩු කිරීමට අප කැපවී සිටිනවා. 

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27. (2) (ඉ) වගන්තියට අනුකූලව, බලපත්‍රලාභීන් මිලියන 2කට සින්නක්කර අයිතිය ලබාදීමට සහ අඩු ආදායම්ලාභී පවුල් 250,000ක් සඳහා සින්නක්කර නිවාස අයිතිය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. 

රජය සතුව හෝ ව්‍යාපාර කිහිපයක් සතුව එම අයිතිය පවත්වාගැනීමට වඩා “අයිතිය” ජනතාවට ලබාදීමට අප කැපවී සිටිනවා.

වතුකරය තුළ දැනට පවතින සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට කෘෂි ව්‍යාපාර ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. 

දැනට ලයින් කාමරවල ජීවත් වන අයට අප ඉඩම් අයිතිය ලබාදෙනවා.  

සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ මුදල් බැඳුම්කර සහ ණයකරවල ආයෝජනය කිරීම වෙනුවට, ඒ සඳහා පවතින ආයෝජන අවස්ථා සොයාබලමින් සිටිනවා. 

මෙම ක්‍රියාවලියට වෘත්තීය සමිති සහ සේවා යෝජකයන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. 

සමූපකාර ක්‍රමවේදයක් වන අපගේ ජාතික ධන සම්පත (National Wealth Fund) මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මහල් නිවාස මිලදී ගැනීම සඳහා සහනදායී අරමුදල් සැපයීමට බලාපොරොත්තු වෙනවා. 

ජනතාවට දේපළක හිමිකාරිත්වය ලබාදීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. 

විශේෂයෙන්ම ජනගහණයෙන් බහුතරය වුවද නියෝජනයෙන් අඩු කාන්තාවන් සඳහා ද අප තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. 

අප ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ හරහා ද ක්‍රියාත්මක වන කාන්තා සවිබල ගැන්වීමේ පනත ක්‍රියාත්මක කර තිබෙනවා.

කුලය, ජාතිය වැනි කල් පවතින වැඩවසම් සමාජ කොටස්වලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. 

ජාතිය, ආගම හෝ කුලය යන කරුණු ඉක්මවා යමින් අප සියලුදෙනාගේ පසුම්බියට එක හා සමානව බලපා ඇති ආර්ථික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු වූ මැතිවරණ ක්‍රියාවලියක් දක්නට ලැබීම පිළිබඳව ජනාධිපතිවරයා වශයෙන් මම ආඩම්බර වෙනවා. 

මෙම තත්ත්වය විසින් අපට රටක් ලෙස එක්සත් වීමටත් සමාජ විෂමතා පිළිබඳ පවතින ගැටලු විසඳීමටත් අවස්ථාවක් ලබාදී තිබෙනවා. 

අවසාන වශයෙන් අපේ දේශපාලන ක්‍රමයට ද පරිවර්තනයක් අවශ්‍යයි. අපේ ආර්ථික ක්‍රමයේ බිඳවැටීම, ඊට අනුබල දුන් දේශපාලන රාමුවට ද ඒ ආකාරයෙන්ම බලපා තිබෙනවා. 

අනෙකුත් පක්ෂ යල්පැන ගිය ආර්ථික ආකෘතීන් වෙත ආපසු ගමන් කරන විට, එය මියගිය පුද්ගලයින්ට නැවත පණ වීමට දරන උත්සාහයකට සමාන වෙනවා. 


දූෂණ විරෝධී පියවර ගැනීමද අත්‍යාවශ්‍ය වෙනවා. ඇතැමුන් දූෂණ සම්බන්ධ ලිපිගොනු 400ක් පමණ පෙන්වමින් දූෂණය පිළිබඳ කතා කළත් ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි වූයේ 15 දෙනෙකුට පමණයි. 

සියලුදෙනා දූෂණය පිළිබඳ කතා කළත් අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් ඵලදායී පියවර ගැනීමයි. 

මා බලයට පත් වූ පසු, අප ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියා. දූෂණ විරෝධී නීතිය සහ අපරාධයකින් උපයා ගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත වැනි නව නීති ඇතුළත් දූෂණ විරෝධී න්‍යාය පත්‍රයක් අප විසින් ක්‍රියාත්මක කරනවා.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට වග කිව යුතුයි. ඒ සඳහා එක්සත් රාජධානියේ ආකෘතියට සමාන අයුරින් පාර්ලිමේන්තු ප්‍රමිතින් පිළිබඳ පනත් කෙටුම්පත ඇතුළු යෝජිත වෙනස්කම් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 

එබැවින් ආර්ථිකය සමඟ දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනය කළ යුතුයි. 

මෙම පුළුල් පරිවර්තනය මඟින් තරුණ පරම්පරාවන්ට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය වෙනවා.

විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම පිළිබඳ 1991 වසරේදී වියට්නාම කර්මාන්ත ඇමතිවරයා සමඟ පැවති සංවාදය මම නිතරයෙන් සිහිපත් කරනවා. 

අප ඉක්මනින් පරිවර්තනයට ලක් නොවන්නේ නම්, ජාතික සංවර්ධනය සඳහා ඔහුගේ උපදෙස් ලබා ගැනීමට අපට සිදු විය හැකියි. 

එනිසා සැප්තැම්බර් 21 වනදාට මේ සියල්ල පිළිබඳ සිහියේ තබා ගන්නා ලෙස ඔබට මතක් කරනවා."