Tuesday, October 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ඓතිහාසික ක්‍රිකට් තරග ජයක් අභියස




වසර 10කට පසු එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය අත්කර ගනිමින්.

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත්තේ ලීඩ්ස්හීදී 2014 වසරේදීයි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙක අතර දෙරටදී පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 10ක්.

එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වූ අතර සෙසු තරග සියල්ලම ජයගනු ලැබුවේ එංගලන්ත කණ්ඩායමයි.

ඒ අනුව වසර 10කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ජයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 125ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 03.30ට වනවා.

ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස් කරගෙන සිටියා.

පැතුම් නිස්සංක පන්දු 44කදී ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 25කදී ලකුණු 30ක් රැස් කර ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 8කට දැවී ගියා. 

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 263ක් පමණයි.

කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායමේ දෙවෙනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ලහිරු කුමාර ලකුණු 21කට කඩුලු 04ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 03ක් දවා ගත්තා.

අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් ද මිලාන් රත්නායක එක් කඩුල්ලක් ද දවා ගනු ලැබුවා.

දෙරට අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදීයි.