Thursday, September 19, 2024

General line - 0115112241

මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්




2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී තිබූ කාලසීමාව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමෙන් පසු උදාවන නිහඬ කාල සීමාව ආරක්ෂා කිරීම සියලු පාර්ශවවල වගකීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අදාළ කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකළ නොහැකි බවයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 1,550ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිද්ධීන් 82ක්, රාජ්‍ය බලය, දේපළ සහ නිලධාරින් අයුතු ලෙස යොදා ගැනීමේ සිද්ධීන් 208ක් සහ අනෙකුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 1,260ක් ඒ අතර වන බවයි එම සංවිධානය පවසන්නේ.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත සිද්ධීන්වලින් 965ක් තහවුරු කළ සිද්ධීන් වන අතර 585ක් තහවුරු නොකළ සිද්ධීන් වන බවද පැෆ්රල් සංවිධානය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙනවා.