Friday, September 27, 2024

General line - 0115112241

ජනාධිපතිට ලෝක බැංකුවෙනුත් සුබපැතුම්




ජනාධිපති ධූරයට තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත ලෝක බැංකු සමූහය සුබපැතුම් එක් කර තිබෙනවා.

ඒ, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිපික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින්.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධන සඳහා අඛණ්ඩව සහය දෙන බවටද ඔවුන් සහතික වී තිබෙනවා. 

මේ අතර ජනාධිපති ධූරයට තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත පැෆ්රල් සංවිධානය විසින් සුබපැතුම් එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික සමාජයීය හා දේශපාලන අර්බුදය හමුවේ රට ගොඩනැගීමේ කාර්ය සිදුකළ හැක්කේ සාමූහික ප්‍රයත්නයකින් බවයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ සඳහා පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුලු අනෙකුත් වෘත්තික කණ්ඩායම්, වෘත්තිය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සංවිධාන, සියලු දේශපාලන කණ්ඩායම්, කෘෂිකාර්මික ප්‍රජාව ඇතුලු සියලු ක්ෂේත්‍රවල පිරිස් සමග අඛණ්ඩ සාකච්ඡාවකින් හා සම්මුතීන් ඇතිකර ගනිමින් ශ්‍රී ලාංකික ජාතිය හා රට ගොඩනැගීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පවසනවා. 

මේ අතර ජනාධිපතිවරණයෙන් අනතුරුව පශ්චාත් කාලය තුළ මේ දක්වා ප්‍රචණ්ඩකාරී කිසිවක් වාර්තා වී නොමැති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේ සිය මැතිවරණ කටයුතු සඳහා වත්මන් ආණ්ඩුව විසින් රාජ්‍යය බලය හෝ රාජ්‍ය දේපළ අවභාවිත නොකරනු ඇතැයි සිය විශ්වාසය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

ඉදිරි මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතයි. නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඔක්තොබර් 04 වනදා සිට ඔක්තොබර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වන දින රැස්වීමට නියමිතයි.