Saturday, September 28, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

අභාවප්‍රාප්ත වන විට කුමාර වෙල්ගම මහතා 74 වියේ පසුවුණා.

ඉකුත් අරගල සමයේ පහර දීමකට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තුවාල ලබා දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.

එම පහර දීම හේතුවෙන් අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු අවස්ථා ගණනාවකදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබෙනවා.

මීට මාසයක පමණ කාලයක සිටද අභාවප්‍රාප්ත වන තෙක් ඒ මහතා  ප්‍රතිකාර ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලකයි.

ඉකුත් සතියක පමණ කාලයක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත සංවිධායකවරයා ලෙස පත්වන ඒ මහතා 1994 වසරේ පළමුව පාර්ලිමේන්තුවට පිවිසෙනවා.

එතෙක් සිට මෙවර පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කුමාර වෙල්ගම මහතා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා. 

එමෙන්ම 2000 වසරේ සිට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2007 වසර දක්වා  එම තනතුරේ කටයුතු කළා.

2004 වසරේ සිට 2007 වසර දක්වා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වුණේද කුමාර වෙල්ගම මහතාටයි. 

ඉන් අනතුරුව 2007 වසරේ සිට 2010 වසර දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ කටයුතු කළේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසයි.

ඉන් අනතුරුව පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්ම ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පත් වුණා.

2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව ඔහු තරඟ කර පාර්ලිමේන්තුවට පිවිසියා. 

නියෝජ්‍ය අමාත්‍ය ධූර හා අමාත්‍ය ධූර දැරූ කාලසීමාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය හා අනෙකුත් ක්ෂේත්‍ර හරහා ජනතාවට සිදු කළ මෙහෙය හේතුවෙන්  හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය පමණක් නොව ශ්‍රී ලංකාව තුළම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනතා ප්‍රසාදයට ලක්වුණා.

තමන් අභාවප්‍රාප්ත වූ පසු සිය අවසන් කටයුතු මතුගම මහජන ක්‍රීඩාංගණයේ සිදු කරන ලෙසට ඔහු සිය සමීපතමයන්ට දැනුම් දී තිබූ බවයි වාර්තා වුණේ. 

අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු සිදු වන දිනය පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පැවසුවා.