Wednesday, November 27, 2024

General line - 0115112241

දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීමට කැපවන බව ජනාධිපති කියයි




ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා.

වර්තමානයේ දරුවන් මුහුණදෙන ගැටලු රැසක් හඳුනාගෙන ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

ඒ අතර දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, අධ්‍යාපනයේ අසමතුලිත බව, මත්ද්‍රව්‍ය මෙන්ම  තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම අයත් බවයි ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සමාජීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී ප්‍රගතීන්ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම සිය අරමුණයි.

ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජයක් නිර්මාණය කිරීම සහ ස්වාභාවික සම්පතෙන් සපිරි පාරිසරික උරුමය රැකදීමත් ප්‍රමුඛ කාර්යය සේ සලකා එය ඉටු කිරීමට කැපවන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අපේ අනාගතය සහ උරුමය සැලකීමේදී ළමයින් සහ වැඩිහිටියන් විශේෂ භූමිකාවන් සිදු කරන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

”අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි” යන්න මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව වන්නේ.

එය පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම සිය රජයේ අරමුණ බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට ද කැපවී සිටිනවා.

ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම රජයේ දැක්මයි. සෑමවිටම දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් අපගේ ප්‍රමුඛතාවය ලබා දෙන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.

එමෙන්ම මෙවර ලෝක වැඩිහිටි දින තේමාව වන ගෞරවාන්විතව වයස්ගත වීම, ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා සත්කාර සහ ආධාරක පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම, සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැගීමට සිය රජය දිවිහිමියෙන් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.