Saturday, November 23, 2024

General line - 0115112241

මෝදි මාලදිවයිනේ සංචාරයකට සැරසෙයි




මාලදිවයිනේ සංචාරයක් සඳහා එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ආරාධනයක් සිදු කර තිබෙනවා.

ඒ ඔහුගේ ඉන්දීය සංචාරය අතරතුරයි.

ඒ අනුව ලබන වසරේ රාජ්‍ය සංචාරයක් සඳහා මාලේ වෙත යාමට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු කළ ආරාධනය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගෙන ඇති බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි නිවේදනය කළා.

අගමැති මෝදිගේ සංචාරයේ දිනයන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සකස් කරන බව ද විදේශ ලේකම්වරයා පැවසුවා.

“මෙහිදී තමා ඇතුළු දූත පිරිසට ලැබුණු ඉතා උණුසුම් පිළිගැනීමට ජනාධිපති මුයිසු සිය කෘතඥතාව පළ කළේය. ලබන වසරේ රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයිනට පැමිණෙන ලෙස ඔහු අග්‍රාමාත්‍යවරයාට ආරාධනාවක් කළේය. අග්‍රාමාත්‍යවරයා එම ආරාධනය පිළිගත් අතර සංචාරය සඳහා දිනයන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සකස් කරනු ඇත, ”මිස්රි සඳුදා පැවති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබුණා.

මුයිසුගේ සංචාරයේදී එළඹි එකඟතා සහ නව ගිවිසුම්වල ප්‍රතිඵල හමුවේ ඉදිරි වසරවලදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද ඔහු පැවසුවා.

'ඉදිරි කාලය තුළ මෙම කලාපය තුළ මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා එය මාලදිවයිනට වඩාත් යෝග්‍ය වනු ඇති බවයි ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පැවසුවේ.