Friday, October 11, 2024

General line - 0115112241

මිල්ටන් සුළි කුණාටුවෙන් ෆ්ලොරීඩාවේ මිය ගිය ගණන ඉහළට




මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිය යන පුද්ගලයන් ගණන ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බවයි. සුලිකුණාටු තත්ත්වය හේතුවෙන් ගංවතුර තත්ත්වයන්ද හට ගෙන තිබෙනවා.

ගංවතුරට කොටු වී සිටි පුද්ගලයින් 35 දෙනෙකුගේ දිවි බේරාගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අමෙරිකානු රජය ප්‍රකාශ කර ඇත්තේ ගංවතුර ජලය විෂ සහිත විය හැකි බැවින් එම ජලය භාවිතයෙන් වළකින ලෙසයි.

විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු විය හැකි බවයි එරට රජය පවසන්නේ. 

මිල්ටන් සුලිකුණාටු තත්ත්වය හේතුවෙන් නිවාස සහ ව්‍යාපාර ස්ථාන මිලියන තුනකට අධික ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කළ ප්‍රදේශවලට නොයන ලෙසට එරට රජය ෆ්ලොරිඩා වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

මේ වන විට ෆ්ලොරිඩාව පුරා ටොනේඩෝ අනතුරු ඇඟවීම් 130ක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මිල්ටන් සුළිකුණාටුව මේ වන විට අත්ලාන්තික් සාගරයට ගමන් කර ඇති නමුත් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ ගංවතුරට ලක්ව ඇති බව සඳහන්.

ඉදිරි දිනවලදී ද ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගංවතුර තවදුරටත් අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.