Tuesday, November 26, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රීවරුන් 55කට වැඩි පිරිසක් මැති සභය එපා කියයි




පසුගිය මහ මැතිවරණ දෙකට තරග කර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුට වැඩි පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය ආයතනය පවසනවා.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා පැවසුවේ මෙවර මහ මැතිවරණයට තරග නොකරන පිරිස අතර පක්ෂ නායකයින් රැසක් ද සිටින බවයි.


කෙසේවෙතත් මෙවර ද කාන්තා නියෝජනය අවම වී ඇති බවයි ඔහු පැවසුවේ.


මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයින් 8,352 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින් 5,006ක් ඒ අතර වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 458ක්, දේශපාලන පක්ෂවලට හිමිවන අතර ස්වාධීන කණ්ඩායම් සඳහා හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 11ක්.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා වන මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 8,821ක් වනවා.

සමස්ත අපේක්ෂකයින්ගෙන් වැඩිම පිරිස වන 966 දෙනෙකු තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

අපේක්ෂකයන් 902 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සුදුසුකම් ලබා තිබෙනවා.

අවම අපේක්ෂකයින් සංඛ්‍යාවක් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්.

එම අපේක්ෂකයින් සංඛ්‍යාව 135ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.