Tuesday, November 26, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයට

ලලිත් චාමින්ද




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිම බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.      

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13කට අයත් පවුල් 20,553 ක පුද්ගලයින් 82,839 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ගම්පහ දිස්ත්‍රීක්කයේ ආරක්ෂිත ස්ථාන 18 ක රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,478 ක්. ගංවතුර තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ නිවාස 41 කට ද අර්ධ හානි සිදුව තිබෙනවා. 

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, ජාඇල, කැලණිය, මහර, ගම්පහ, කටාන, අත්තනගල්ල සහ බියගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මාර්ග 20ක් තවදුරටත් ගං වතුරෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 කට අයත් පවුල් 10,914 ක පුද්ගලයින් 40,231 දෙනෙකු ද පීඩාවට පත්ව සිටිනවා.

ආරක්ෂිත ස්ථාන 48 ක රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 4,060 ක්. නිවාස 17 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ද කැලණි ගඟේ පහත් බිම් ප්‍රදේශ තවදුරටත් ගං වතුරෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

කැලණි ගඟ ආශ්‍රිත බොහෝ පහත්බිම් ප්‍රදේශවල පැවති ගං වතුර තත්ත්වය මේ වන විට කෙමින් කෙමෙන් පහව යන බව දැකගත හැකි වුණා.        


කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ද ගං වතුරෙන් යටව පවතිනවා.

බණ්ඩාරගම, බුලත්සිංහල, නිල්ලනිය සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මාර්ග 11 ක් එලෙස ජලයෙන් යටවීම නිසා තවදුරටත් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

මේ අතර ගිංගගේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා.

මේ වන විටත් බද්දේගම ප්‍රදේශය ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටව තිබෙනවා.

හෝළුවාගොඩ - කාරාපිටිය මාර්ගය හෝළුවාගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර  ඕපාත හග්ගොඩදුව මාර්ගය ඇතුළු  අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ජලය බැසයාම සදහා මහමෝදර මෝයකට  විවිර කර තිබෙනවා.

සමස්ථයක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69 ක පවුල් 34,492 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 34,484 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.


පීඩාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැලසීමට අමතර යුද හමුදා භට පිරිස් ද යොදවා තිබෙනවා.

මල්වාන, කටුගොඩ, වටරැක, සීතාවක, මීතොටමුල්ල, කොලොන්නව, නවගමුව, පැලවත්ත සහ යටදොලවත්ත ප්‍රදේශවලට එලෙස යුද හමුදා භට පිරිස් යොදවා ඇති බවයි යුද හමුදාව පැවසුවේ.

එමෙන්ම කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 08 කට ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී යෙදවීම සඳහා බෝට්ටු, රථ සමඟ 6,500 ක පමණ භට පිරිසක් සූදානම් කර ඇති බවද යුද හමුදාව වැඩිදුරටත් පැවසුවා.

මේ අතර දිවයිනට බලපා තිබූ පහළ වායුගෝලයේ කැලඹීම ක්‍රමක් ක්‍රමයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් උදෑසන කාලයේ පවතින වැසි තත්ත්වය ලබන 17 වැනිදා දක්වා පැවතිය හැකි බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ. 


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු දැක්වුවා.