Tuesday, November 26, 2024

General line - 0115112241

බදු ගෙවීම පැහැර හැරීය අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස 06ක සිරදඬුවම්

උදය කුමාර




රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ, 2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3 යි දශම 5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීමට අදාළවයි.

මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වග උත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වනදා නියෝගයක් නිකුත් කර තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ නඩුවේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයෙහි පෙනී සිටියා.

තුන්වන විත්තිකරු ලෙස නම්කර සිටි ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා අධිකරණයේ පෙනී නොසිටි අතර  ඔහුට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණා.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ ඉකුත් නොවැම්බර් මස නිකුත් කළ තීන්දුවට එරෙහිව තම සේවා දායකයින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. 

එහෙත් කොළඹ මහාධිකරණය විසින් අදාළ බදු මුදල් ගෙවන ලෙස ඉකුත් නොවැම්බර් මස 14 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය වුණා.

ඒ අනුව අද දිනය තුළ අදාළ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස 06 ක සිර දඬුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා විසින් වග උත්තරකරුවන්ට නියෝග කළා.

අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් වග උත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම සිර දඬුවම නියම කළා.

මේ අතර තමන්ට නියම වී ඇති මාස 06 ක සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා  අර්ජුන ඇලෝසියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනා විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම අභියාචනා අයදුම්පත අදාළ නඩු තීන්දුව ලබාදුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් එම අභියාචනය තුළින් ඉල්ලා තිබුණා.