Tuesday, October 15, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා මව්පියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට

උදය කුමාර




ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවලදී දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ද පිටවී ඇති බවට කරුණු අනාවරණය වන්නේ නම්  දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ද යළි විභාගයක් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 27 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමව්පියන් 27 දෙනෙකු විසින් එම පෙත්සම ඉදිරිපත් කළා. 

එහි වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ  පළමු ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න  තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් පැතිර ගිය බවයි.

ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු විසින් විභාගයට පෙර ලබා දී ඇති බවට කරුණු අනාවරණය වූ බවත් පෙත්සම්කරුවන් පවසනවා.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු ඊට අදාළ විමර්ශන ආරම්භ වූ බවත්, ඒ අනුව මව්පියන් ඇතුළු පාර්ශ්ව ගණකාවකින් පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කර ගත් බවත් එම පෙත්සමේ සඳහන් වනවා.

මීට අදාළව දෙමව්පියන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් අනතුරුව මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කෙරුනු බවත්  පෙත්සමේ සඳහන්. 

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් නොපවත්වා  පිට වූ ප්‍රශ්න සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට සූදානම් වන බවට ඊයේ දින මාධ්‍ය හරහා තමන් කරුණු දැනගත් බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ.

මෙම ක්‍රියාව තුළින් විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවසන් ලකුණු වලට අගතිදායක ලෙස බලපෑමක් එල්ල වන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරනවා. 

මෙම සමස්ත ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් වන තුරු 05 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ලකුණු සහ කඩ ඉම් ලකුණු නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

එසේම පිට වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් අයැද සිටිනවා.

ඊට අමතරව මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු කමිටුවේ සාමාජිකයින්ගේ නාම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.