Tuesday, October 15, 2024

General line - 0115112241

සුරාබදු නිලධාරීන් හතර දෙනෙකුට වැඩ වරදී

උදය කුමාර




2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීති විරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින්  එහි  සේවකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන් දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිතා කර තිබෙන බවත් එම තීන්දුවෙන් චෝදනා කර තිබුණා.

ඒ අනුව අදාළ වැටලීමට සහභාගි වූ බොරැල්ල , සුරා බදු හා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, එහි සුරා බදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සහ සුරා බදු නියාමක එන්. එස් රත්නායක යන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඒ අනුව එම නිලධාරින් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින්  සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම මහතාට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වුණා.

එම වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝගයේ සඳහන් වුණා.

ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000 බැගින් වන්දි ගෙවිය යුතු බවටයි අධිකරණය නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් එම කොමිසම වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී වරයාට නියෝග කළා.

ඊට අමතරව වග උත්තරකාර සුරාබදු නිලධාරීන් තුන් දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළා.

අදාල ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ එහි සේවකයින් හතර දෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.