Wednesday, October 16, 2024

General line - 0115112241

බදු නොගෙවා හිරේට ගිය ඇලෝෂියස් බන්ධනාගාරය අතුගාන්න දමයි




සිරදඬුවම් නියම වූ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගමේ අනිත් නිලධාරීයා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයට යොමු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා මේ වන විට රඳවා සිටින්නේ වැඩ අංශයට යොමු කර සිටින සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක වෙන වෙනම බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ද එම වාට්ටු දෙකෙන් පෙරවරු 8 පමණ පිටතට ගනු ලබනවා.

පස්වරුවේ 3.30 පමණ තෙක් ඔවුන් දෙදෙනා ද වැඩ අංශයේ කටයුතු කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඔවුන් දෙදෙනාට නියම වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයේ සුළු රාජකාරි බවයි වාර්තා වුණේ.

ඒ අනුව ඔවුන්ට වැඩ අංශය අතු ගැම සහ පිරිසිදු කිරීමේ කටයුතු නියම වී තිබෙනවා. 

මේ අතර අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගමේ අනිත් නිලධාරීයා බන්ධනාගාරය තුළ දී වෛද්‍යවරයෙකු පරීක්ෂා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කෙරුණා.

ඒ, 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන්.