Wednesday, October 16, 2024

General line - 0115112241

තුන් දහසේ මාසික දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම් වෙත




රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් මෙම දීමනාව අද සිට ගෙවීමටයි කටයුතු කර ඇත්තේ.

රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කර කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තැපැල් කාර්යාල හා උපකාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට ලබන 18වනදා සිට මෙම දීමනාව ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගිය දා උපදෙස් ලබා දී තිබෙනවා.

එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

පසුගිය 14 වන දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් හය ලක්ෂ 79,960ක් වෙනුවෙන් මෙම මුදල ලබා දෙනවා.

ඒ වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.