Wednesday, October 16, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් විකුණන්නේ නැහැ - අලුත් සභාපති කියයි




ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමේ සැලසුම් අත්හැර දමා ඇති බව එහි නව සභාපති සරත් ගනේගොඩ මහතා උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය අද වාර්තා කළා.

කෙසේවෙතත් එය වඩාත් ලාභදායී අනාගතයක් සඳහා ප්‍රතිව්‍යුහගත කරනු ඇති බවයි ඔහු පවසන්නේ.

අදාළ වෙබ් අඩවියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සියලු ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බර විය හැකි ආයතනයක් විය යුතු යැයි සරත් ගනේගොඩ මහතා ප්‍රකාශ කර ඇති බවයි.

රට තුළට පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 50ක් ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිත කළ යුතුයි. ලබන වසරේ සංචාරකයින් මිලියන 3ක් සහ 2030 වන විට මිලියන පහක් ආණ්ඩුවේ ඉලක්කයයි.

එබැවින් මෙම ගුවන් සේවය සංචාරක ව්‍යාපාරයේ වැදගත් කුළුණක් බව නව සභාපති සරත් ගනේගොඩ මහතා උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය අද වාර්තා කළා.

වසර ගණනාවක් තිස්සේ පාඩු ලබමින් සිටින ගුවන් සමාගම කොටස් වශයෙන් විකිණීමට සහ කළමනාකරණය කිරීමට පසුගිය රජය ලංසු කැඳවා තිබුණා.

එහි ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 2ක්. පෙර සැලැස්ම යටතේ, රජය විසින් ගුවන් සේවයේ සියයට 51ක පාලනය රඳවා තබා ගෙන ඉතිරි සියයට 49 ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබූ බව අදාළ වෙබ් අඩවියේ සඳහන්.

ඊට පාර්ශව හයක් කැමැත්ත පළ කර තිබූ නමුත් ඊළඟ පියවර සඳහා ඔවුන් කිසිවෙකුත් සුදුසුකම් ලබා තිබුණේ නැහැ.