Tuesday, November 26, 2024

General line - 0115112241

ග්‍රාමීය මාර්ග කොන්ත්‍රාත් ලබා දීම ජනපති වෙනස් කරයි




ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීම වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බවයි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සංවර්ධන කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමෙහි ලා ඉතා වැදගත්.

එබැවින් එම ව්‍යාපෘති විධිමත්ව සැලසුම් කිරීමෙන් ජාතික ආර්ථිකය නඟා සිටු විය හැකි බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

දැනට ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික, මූල්‍ය, ප්‍රජාවට සිදුවන බලපෑම් ද සැලකිල්ලට ගෙන අහිතකර බලපැම් අවම කර ගනිමින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.