Friday, October 18, 2024

General line - 0115112241

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව පළමුවරට විස්සයි විස්ස තරඟාවලියක් ජය ගනී




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරඟාවලිය දෙකට - එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්.

මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08ක් දැවී ඔවුන් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 162ක්. නායක රොව්මන් පවල් පන්දු 27කදී ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. වනිඳු හසරංග ලකුණු 24ට කඩුලු 02යි. 

ලකුණු 163ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ගනිමින් මෙම තරඟයේ ජය වාර්තා කළා.

වේගවත් ආරම්භයක් ලබා දුන් පැතුම් නිස්සංක පන්දු 22කදී ලකුණු 39ක් රැස් කළා. 

පැතුම්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කුසල් මෙන්ඩිස් පන්දු 50කදී නොදැවී ලකුණු 68යි. කුසල් ජනිත් පෙරේරා පන්දු 36කදී නොදැවී ලකුණු 55ක් රැස් කළා. 

තරඟයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන හිමිකර ගත් අතර තරඟාවලියේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත්තේ පැතුම් නිස්සංකයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟය නැරඹීම සඳහා අති විශාල ප්‍රේක්‍ෂකයින් පිරිසක් එම ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.