Friday, October 18, 2024

General line - 0115112241

වන්නි දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උදය කුමාර




වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි.

එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වනවා.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය  බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ.