Saturday, October 19, 2024

General line - 0115112241

භාණ්ඩ වර්ග 05කට අලුතෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවූවාද? - ආණ්ඩුවෙන් ප්‍රතිචාර




භාණ්ඩ වර්ග 5 ක් සදහා රජය විසින් අලුතින් විශේෂ භාණ්ඩ බදු පනවා ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

2007 අංක 48 දරණ විශේෂ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ ප්‍රධානතම නීතිමය අවශ්‍යතාවන් තුනක් වනවා.

ඒ අනුව අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය සහ අදාළ නියමය සඳහන් කිරීමත් වන බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 

එම නීතිමය අවශ්‍යතාව පදනම් කරගෙන ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබූ ගැසට් නිවේදනය පසුගිය 13 වනදායින් අවසන් වුණා.

එය නැවත ලබන දෙසැම්බර් මස 31වනදා දක්වා එලෙස දීර්ඝ කිරීමට පසුගිය 14වනදා ගැසට් නිවේදනයක් මගින් සිදු කර තිබෙනවා.

එමගින් රජය විසින් අලුතෙන් බදු පැනවීමක් සිදු කර නොමැති බවයි මුදල්, ආර්ථික සංවර්ධන. ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ. 

ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායී ශත 25ක් වූ බද්ද එලෙසම ක්‍රියාත්මකයි. දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්‍ෂා කිරීමේ පරමාර්ථයෙන් හා විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාත යටතේම එලෙසම දීර්ඝ කර තිබෙනවා. 

සාමාන්‍යයෙන් මෙම පනත යටතේ ගැසට් නිවේදනයන් වසරක කාලයක් සඳහා නිකුත් කෙරෙනවා.

එහෙත් මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යයනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ලබන දෙසැම්බර් 31වනදා දක්වා පමණක් පවතින බදු ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමට තීරණය කළ බවයි මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.