Saturday, October 19, 2024

General line - 0115112241

හමාස් නායකත්වයට නාම යෝජනා 05ක් ඉදිරිපත් කෙරේ




හමාස් සංවිධානයේ නායක යහියා සින්වාර්ගේ ඝාතනයත් සමග එම සංවිධානයේ නව නායකත්වය සඳහා නාමයෝජනා 05ක් ඉදිරිපත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව හමාස් සංවිධානය මෙවර ගාසා තීරයෙන් පිටත සිටින ජ්‍යේෂ්ඨයෙකු සිය නායකත්වයට තෝරාපත් කරගනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, හමාස් දේශපාලන කාර්යංශය භාරව කටයුතු කරන ඛලීල් හයා, හමාස් සංවිධානයේ නව නායකයා ලෙස පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. හමාස් නායක යහියා සින්වාර් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ බව, හමාස් සංවිධානය ඊයේ පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඔහුගේ ඝාතනයත් සමග ඊශ්‍රායලයට එරෙහිව අඛණ්ඩව සටන් වදින බවටයි හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රතිඥා දී ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා තුරු, යුද්ධය අවසන් නොකරන බවයි. 

කෙසේවෙතත් ඊශ්‍රායලය හමාස් වෙත එල්ල කරන ප්‍රහාර නැවැත්විය යුතු බවට හිස්බුල්ලා සටන්කාමීන් පවසා තිබෙනවා. ඒ, හමාස් නායකයා ඝාතනය කිරීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්. 

ඊශ්‍රායලය සටන් විරාමයක් සඳහා ක්‍රියා නොකරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර ශක්තිමත් කරන බවයි හිස්බුල්ලා සටන්කාමීන් පවසා ඇත්තේ.