Thursday, October 31, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ ආදර්ශය මහමැතිවරණයටත්




2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සැලසෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, සියලුම පොලිස් ස්ථාන, පොලිස් නිලධාරි කාර්යාල සහ විශේෂ පොලිස් ඒකකවල නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනියුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලටයි.

අද දිනයට අමතරව මෙම ක්ෂේත්‍රවල රාජකාරි කරන පුද්ගලයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන මස 04 වනදා ද අවස්ථාව සලසා දී තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ තැපැල් ඡන්දයේ පළමු දිනයේ කටයුතු මේ වන විට ඉතා සාමකාමී බවයි. 

ත්‍රිවිධ හමුදා කඳවුරු හා සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොවැම්බර් 01 සහ 04 යන දින දෙක වෙන් කර තිබෙනවා. 

ඉහත දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන සියලුම තැපැල් ඡන්ද හිමියන්ට නොවැම්බර් 07 සහ 08 යන දිනවල සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.