Thursday, October 31, 2024

General line - 0115112241

හදිසියේ ඇරඹි දුම්රිය වර්ජනය හදිසියේම නවතී




දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසුවේ අදට යෙදී ඇති දීපාවලී දිනය හේතුවෙන් ජනතාවට සහයෝගය දැක්වීමක් ලෙස මෙම තීරණය ගත් බවයි.

උසස්වීම්, බඳවාගැනීම්, දුම්රිය අවලංගු වීම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමිනුයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කළේ.

ඒ, ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසුවයි.

පසුව ඔවුන් ඊයේ පස්වරු 4:30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, පාර්සල් භාර ගැනීම සහ ආසන වෙන් කිරීම යන රාජකාරීවලින් ඉවත් වුණා.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසුවේ.

මේ අතර, දුම්රිය ස්ථානාධිපති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ මහතා පැවසුවේ ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කර තිබූ බවයි.

අදාළ කමිටුවට වර්ජනයේ නිරත වෘත්තීය සමිති නියෝජිතයින්ද ඇතුළත්. එහි නිර්දේශ ලබන 08වනදාට පෙර ලබා ගැනීමට අපේක්‍ෂිතයි.

ඒ පිළිබඳ හෝ අවධානය යොමු නොකර මෙම වර්ජනය ආරම්භ කර තිබූ බවයි වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර නෙත් නිවුස් අද උදෑසන කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ දුම්රිය ධාවනය කිසිදු ගැටලුවකින් තොරව සිදු වන බවයි.