Sunday, November 24, 2024

General line - 0115112241

ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු නොකළාට ත්‍රීරෝදරථ සංගමයක විරෝධයක්




ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු නොකළාට ජාතික ඒකාබද්ධ ත්‍රීරෝදරථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

එමෙන්ම ඉදිරියේදී මෙවැනි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන ලෙසටද එම සංගමයේ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්. 

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල ගණන් පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුණා.

එම ඉන්ධන වර්ග දෙකේ ලීටරයක මිල රුපියල් 06කින් පහළ දැමූ බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ඒ අනුව රුපියල් 377ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371ක් වනවා.

රුපියල් 319ක් වූ සුපිරි ඩීසල් ලීටරයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අලෙවි වන්නේ රුපියල් 313ක මිලකටයි. 

ලංකා ෂධක්‍ සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පහළ දැමූ ආකාරයෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවා.

කෙසේවෙතත් මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව වෙනත් කිසිදු ඉන්ධන වර්ගයක මිල පහළ දමා නැහැ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 311කටත් සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283කටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 183ක මිලකටත් තවදුරටත් අලෙවි වනවා.