Friday, November 1, 2024

General line - 0115112241

ජෝන්ස්ටන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව අමතර ඇපයක් මත මුදා හරී

උදය කුමාර




අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා  වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහුගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ කොළඹ මහාධිකරණය ඔහු අමතර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළා.

නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවයි. 

කෙසේවෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කළා.

ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට  නියෝග කළ  විනිසුරුවරයා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරිණ ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව නඩුවේ විභාගය ජනවාරි මස 27 වනදාට කල් තැබුණා. 

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට ඔහු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.