Sunday, November 24, 2024

General line - 0115112241

දුන්හිඳ බස්රථ අනතුරෙන් තුවාල ලැබූ 40 දෙනා තවදුරටත් රෝහලේ




බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනෙකු තවදුරටත් බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

එම පිරිසට විශ්වවිද්‍යාල සිසුන් 36ක්, ආචාර්යවරුන් තිදෙනෙක්, යුද හමුදා හා නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහ බස් රථයේ රියදුරා අයත් බවයි පොලීසිය පැවසුවේ.

පැල්ගහතැන්න ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිස පුහුණු වැඩසටහනක් සඳහා රන්දෙනිගල බලා යමින් සිටියදී මෙම අනතුර සිදු වුණා.  

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 42 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඒ අතර සිටි සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූ බවයි පොලීසිය පැවසුවේ.

23 හැවිරිදි වියේ පසුවූ ඔවුන් දෙදෙනා කුරුණෑගල සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචිකාරිණියන් වනවා. තුවාල ලැබූවන්ගෙන් 06 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඒ අතර බස් රථයේ රියදුරුද වන බවයි පොලීසිය පැවසුවේ. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා.

අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙකු ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට නටයුතු කර තිබුණා. එහෙත්  අයහපත් කාලගුණය නිසා එම ගුවන් ගමන නතර කර තිබෙනවා. 

තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය ප්‍රපාතයකට පෙරළී සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එහි රියදුරු විසින් ප්‍රතිවිරුද්ධ දිශාවට බස් රථය හැරවීමේදී කණ්ඩියක ගැටී එය පෙරළීගොස් ඇති බවට මේ වන විට සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.