Sunday, November 24, 2024

General line - 0115112241

විදුලි බිල සියයට 20 කින් අඩු කළ හැකි බව බලශක්ති විශ්ලේෂකයෙක් පෙන්වයි




විදුලි ගාස්තු සංශෝධනය සියයට 20 ක ප්‍රතිශතයකින් පහළ දැමිය හැකි බව බලශක්ති විශ්ලේෂකයින් පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී බලශක්ති විශ්ලේෂක අචාර්ය විදුර රළපනාව මහතා පැවසුවේ විදුලිබල මණ්ඩලය ලැබූ වාර්ෂික ලාභය පදනම් කර ගනිමින් එලෙස විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බවයි. 


ලංකා විදුලි බලමණ්ඩලය විසින් පසුගිය ඔක්තෝබර් මස 24 වනදා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණා.

එමඟින් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමටයි යෝජනා කර තිබුණේ.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා. 

ඒ අනුව ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

එම යෝජනාවලිය ලබන 08 වනදාට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට ද ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

කෙසේවෙතත් එදිනට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලබා දෙයිදැයි සැක සහිත බවද බල ශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා මෙහිදී ප්‍රකාශ කළා.


විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.