Sunday, November 24, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට




2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අද සිට අයදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ නොවැම්බර් 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගන්නා බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා.

පෞද්ගලික අයදුම්කරුවන් විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ.

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට එය අයදුම්කරු භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුයි. 

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළ යුතු පරිශීලක නාම හා මුර පද පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

නොවැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.