Sunday, November 24, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල සහ උපකාරක පන්තිවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්




මහ මැතිවරණ ඡන්ද විමසීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්. රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් ද ස්වකීය කාර්ය මණ්ඩල හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශය කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙසට දැනුම් දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

2006 මැයි 31 වන දිනට පෙර උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ ඡන්ද හිමියන්ගේ නම් ද ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව තිබෙනවා.

එබැවින් උසස් පෙළ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන පරිදි පන්ති යොදා ගැනීමට කටයුතු කරන ලෙස සියලුම උසස් පෙළ උපකාර පන්තිවල කළමනාකරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මැතිවරණ පැමිණිලි 2,348 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී තිබෙනවා.

නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,293 ක්. ප්‍රචණ්ඩ ක්‍රියා 20ක් සහ වෙනත් පැමිණිලි 35 ක් ද වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1,733 ක්. සෙසු පැමිණිලි 615 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබුණා.

මේ දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව වන 2,348 න් 1,861 ක්

මේ වන විටත් විසඳා අවසන්. සෙසු පැමිණිලි 487 සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරමින් සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.