Saturday, November 23, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් යානයක දෝෂයක් නිසා ඕස්ට්‍රේලියා ගුවන් ගමනක් අවලංගු කෙරේ

ටී කේ ජී කපිල




කටුනායක ගුවන්තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

එම ගුවන් යානය අද අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත තිබුණා.

කෙසේවෙතත් එහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම ගුවන් ගමන පැය 11 ක් ප්‍රමාද කිරීමටයි ගුවන්තොටුපළ බලධාරින් පළමුව කටයුතු කළේ.

කෙසේවෙතත් ඉන් අනතුරුව එම ගුවන් ගමන අවලංගු කිරීමට බලධාරින් පියවර ගත් බව නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවා.

කෙසේවෙතත් එම ගුවන් යානයේ සිටි මගීන්ගෙන් කඩිනමින් ඕස්ට්‍රේලියාව බලා යාමට සිටි පිරිස පමණක් වෙනත් ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණා.

සෙසු මගීන් හෙට අලුයම 12යි 30 ට පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා රැගෙන යාමට නියමිතයි.

මේ අතර කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයක් භාවිත කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක් වෙත පිවිසීමට ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා.

සියලුම ගුවන් සේවා නිෂ්කාශන කටයුතු නිමා කර ගුවන් යානය වෙත පිවිසීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු විගමන කවුළුව වෙත පැමිණි ඔහුගේ හැසිරීම සහ ප්‍රශ්න කිරීම්වලදී නිලධාරින්ට සැක මතුව තිබෙනවා.

ඔහු රැගෙන විත් තිබූ ගමන් මල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දැඩි ලෙස පරීක්ෂා කළ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ඒ තුළ සගවා තිබූ ඉන්දියාවේ සිට ඉතාලිය වෙත යාමට අවශ්‍ය ගුවන් ගමන් ප්‍රවේශ බලපත්‍රයක් සහ මුහුණු ආවරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ, කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.