Saturday, November 23, 2024

General line - 0115112241

සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඇරඹේ




වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හඳුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ කළා.

තලංගම ප්‍රාදේශීය රෝහලේ සහ කොළඹ 05, කිරුළ මාතෘ නිවාසයයේ ක්‍රියාත්මක සරම්ප එන්නත් සායන මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් වුණා.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ද එක් වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ විශේෂ සරම්ප, රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසුගිය දින 05 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලය නිවාස 90,000 ක් සහ ආයතන 2,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇති බවයි.

එහිදී මෙම එන්නත ලබාදිය යුතු තරුණ කණ්ඩායම් කවුරුන්ද යන්න හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව විවිධ ආයතන සහ විශ්වවිද්‍යාල තුළ සරම්ප එන්නත් මෙතෙක් ලබානොගත් සහ එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටි වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ ප්‍රජාවට මෙම වැඩසටහන තුළින් සරම්ප එන්නත ලබාදීම සඳහා ප්‍රමුඛතාව ලබාදීමට නියමිතයි.

මෙම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල ඉදිරි සෙනසුරාදා දින 04 ක් තුළ ද ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ.

එමෙන්ම මේ වන විට හඳුනාගත් දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. සරම්ප එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 09 සිට 15 දක්වා දරුවන් වෙත ද මෙහි දී සරම්ප එන්නත ලබාගත හැකි වනවා.

නොවැම්බර් මස 04 සිට 09 දක්වා විශේෂ සරම්ප රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක්  සෞඛ්‍ය  අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කළ අතර ඊට සමගාමීව මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි.