Saturday, November 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු විස්සයි විස්ස තරගෙය් ජය     ශ්‍රී ලංකාවට




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 04 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්, නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 59 ක් තුළදී දවා ගැනීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම ලකුණු 96 ක් තුළදී කඩුලු 06 ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව වුණා.

කෙසේවෙතත් සිය 09 වන කඩුල්ල සඳහා ලකුණු 39 ක සබඳතාවක් පවත්වා ගනිමින් නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සීමාවක් කරා රැගෙන යාමට කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 03 ක් තුළදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 135 ක් පමණයි. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ දුමිත් වෙල්ලාලගේ පන්දු වාර 03 යි පන්දු 03 ක් තුළදී ලකුණු 20 ක් ලබාදෙමින් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 03 ක් බිඳ හෙලුවා.

වනිඳු හසරංග, නුවන් තුෂාර හා මහේෂ් පතිරණ අතර පිළිවෙලින් කඩුලු 02 බැගින් බෙදී ගියා.

ලකුණු 136 ක ජයග්‍රාහී ඉලක්කයික් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 19 වන පන්දු වාරයේදී කඩුලු 06ක් බිඳ වැටී තිබියදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා.

පැතුම් නිස්සංක ලකුණු 19 ක් ලබා සිටියදී දෙවන කඩුල්ල ලෙස දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 23 ක් ලබා සිටියදී තුන්වන කඩුල්ල ලෙස දැවී ගියා.

හතරවන කඩුල්ල සඳහා නායක චරිත් අසලංක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 33 ක සබඳතාවක් පැවැත් වූ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 23 ක් ලබා සිටියදී දැවී ගියා.

නායක චරිත් අසලංක නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් තරලයේ 19 වන පන්දු වාරය දක්වා නොදැවී පන්දුවට පහර දෙමින් ලකුණු 35 ක් ලබාගත් අතර දුනිත් වෙල්ලාලගේ තරගයේ 19 වන පන්දු වාරයේ අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ සිටින අතර දෙවන විස්සයි විස්ස තරගය අද රාත්‍රී 07 ට රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.