Saturday, November 30, 2024

General line - 0115112241

ෆෙන්ගල් සුළි කුණාටුව පස්වරුවේ ඉන්දියාවට




නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළි කුණාටුව අද පස්වරුවේ උතුරු තමිල්නාඩු පුදුචේරි වෙරළ වෙත ළඟා වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම සුළි කුණාටුව ඊයේ රාත්‍රි 11යි 30ට පමණ ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.


උතුරු පළාතේ සහ දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු වැඩිදුරටත් අදහස් පළ කළා.


මේ අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස අද වළාකුළින් බරව පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එමෙන්ම උතුරු පලාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ සඳහන්.  

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත්වල දඅද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එමෙන්මඋතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 50ත් 55ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.