Wednesday, December 18, 2024

General line - 0115112241

ගෝල් මාවස්ල් කණ්ඩායමේ හිමිකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දෙයි

උදය කුමාර




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් නමැත්තා අද පැයකට ආසන්න කාලයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා. 

මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන ලංකා ටී -10 ක්‍රිකට් තරඟාවලියේදී එම තරඟාවලියට සහභාගී වී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගැණුනා. 

තමන් සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව සැකකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉකුත් නඩු දිනයේ අධිකරණයට දැනුම් දී තිබුණා. 

ඒ අනුව එම සැකකරුගේ රහස් ප්‍රකාශය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිලමැදිරියේදී අද දහවල් සටහන් කර ගැනීම සිදුවුණා. 

පැයකට ආසන්න කාලයක් එම සැකකරු විසින් අදාළ රහස් ප්‍රකාශය සිදුකළ බවත් සඳහන් වෙනවා. 

ඉන් අනතුරුව මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ලබන 20 වනදා සලකා බලන බවත් එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.