Sunday, January 5, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයාට ඇප

උදය කුමාර




අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින්. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය කළ පැමිණිල්ලකට අනුවයි. 

සැකකරු විසින් ලිංගික අඩම්තේට්ටම් සිදුවන ආකාරයෙන් පල කරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් පැමිලිකාරිය දැඩි මානසික පීඩාවට ලක් වූ බවත් මේ හේතුවෙන් ඇයට සායන වලට පවා යොමුවීමට සිදුවී ඇති බවත් එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. 

මෙම සැකකරු පැමිලිකාරිය සම්බන්ධයෙන් පෝස්ටු පළ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මීට පෙර හතර වතාවක් පමණ  මේ ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.
 

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයා දැඩි කණගාටුවට පත්වන බව පැවසුවා. 
 

සැකකරු විසින් මෙම පෝස්ටුව ප්‍රදර්ශනය කළේ විනාඩි අටක් පමණක් බවත් ඉන් පසුව එය ඉවත් කරගෙන ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා. 

මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස සැකකරුට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වන දා කැඳවීමටද නියම කළා.